ඔයා ආදරය කරන කෙනා ඇත්තටම විවාහයට සුදුසු කෙනාද ?

බැඳීමක් පටන් ගන්න හිතුන ගමන් ඒ අපිට හොඳම කෙනා හරිම කෙනා වෙනවා කියල කියන්න බෑ. හිතන්න, ආදරය කරන්න පටන් ගන්න කලින් ඔයාට එයාව නිකන්ම කෙනෙක් වෙන්න පුළුවන්. බැඳීමක් පටන් අරගෙන ඒක Serious විදියට කරගෙන යද්දි නොදැනීම මනස විසින් ඒ හරිම කෙනා ඒ ඔයාට හොඳම කෙනා කියලා මවා පෑමක් සිද්ධ කරනවා. ඒ Addiction එකේ ප්‍රතිඵලයක් විදියට. හැබැයි මේක හැම කෙනෙක් ගැනම දැනෙන දෙයක් නෙමෙයි. ඒ වගේම ඔයාට ඒ දේ සිද්ධ වෙනවා කියලා බොහෝ විට ඔයා දන්නෙත් නෑ.

මෙතනදි, සමහර විට ඒ ඔයාට හරියන කෙනෙක් නෙමෙයි. ඔයාගෙ ජීවිතය විනාශ කරන, ඔයාව පිරිහීමට ඇදලා දාන කෙනෙක් කියන Indicators පෙනි පෙනී ඒ කෙනා මතම රැඳෙන්න වුණත් හිතෙන්නෙ ඒකයි. මෙය ක්‍රමානුකූලව ඔයාව විනාශ කරන, නාස්ති කරන ක්‍රියාවලියක්. හොඳ අනාගතයක් තියන කොල්ලෙක්ට නැත්‍නම් කෙල්ලෙක්ට එයාගෙ මුළු අනාගතයම නාස්ති කරලා දාන්න මේ විදියෙ බැඳීම් වලට පුළුවන්. ඒ වගේ උදාහරණ අනන්තයි.

ඔයාට ආකර්ෂණය වන කෙනෙක් මුලදි සලකන විදිය සහ කියන වචන වගේම ආදරය කරන රටාවත් ගොඩක් සිත්ගන්නා සුළු සහ තෘප්තිමත් බවින් අධික වෙන්න පුළුවන්. මොකද, ආදර සබඳතාවක කුතුහලය අධික කාලයක් තියනවා. එක එක අයට මේ කාල සීමාව වෙනස්. මෙම කාලය තුළ එන හැඟීම් සමග කියන වචන වල ගැඹුර අඩුම ඒ දේවල් කියන එයාවත් දන්නෙ නැති තරම්. හෙට වුණත් බඳින්න ලෑස්තියි, එයා තරම් ඔයාව තේරුම් ගත්ත කෙනෙක් නෑ වගේ තමයි ඒ කාලෙදි වචන පාවිච්චි කරන්නෙ. ඉතින් මේ වචන වලින්, හැසිරීමෙන් පෙනෙන කෙනාම නොවෙන්න පුළුවන්. ඔයා වෙනුවෙන් සහතික වශයෙන්ම කැප වෙන කෙනෙක්ද කියන එක මේ අධික කුතුහලයකට සීමා වුණු කාල පරාසය තුළ කියන වචන වල සහ හැසිරෙන විදිය තුළ බොහෝ විට නෑ.

සත්‍ය වශයෙන්ම ඔයා එක්ක ඉන්න අවශ්‍ය කෙනෙක් නම් ඒ මුල් කාල සීමාව තුළ වගේම ක්‍රමානුකූලව හැමදාම ඒ ගුණාංග පවත්වාගෙන යනවා. මොකද, මුලදි අර මන් කියපු දේවල් යම් කෙනෙක් පෙන්නුම් කලාට, මන් කලින් ලිපි වල කිව්ව විදියට ආකර්ෂණය යටපත් වන කාලසීමාවක් ඕනම කෙනෙක්ට එන්න පුළුවන්.

මෙතනදි හොඳ මානසික පාලනයකින් වෙනස් කමක් වෙන්න නොදී ඉන්න කෙනා ගැන තමයි නියමාකාරයෙන් ඔයා එක්ක ඉන්න සුදුසු තත්වයක ඉන්නවා කියන යම් විශ්වාසයක් හරි ඇති කරගන්න පුළුවන්. නැත්නම්, මුලදි අර කුතුහලය අධික කාල සීමාව තුළ පුදුම ආදරෙන් සලකනවා, මොකද ඒක ඒ කෙනාට තෘප්තිමත්, හැබැයි ඒ කාල සීමාව පැන්නම වෙනස් වෙන්න ගන්නවා. ඒ කියන්නෙ, අදාල කෙනාගෙ හැඟීම් ඇතුළු අනෙකුත් දේවල් තව දුරටත් අලුත් සහ කුතුහලය ගෙන දෙන දේවල් නොවන තැන මේ දේ සිද්ධ වෙන්න පුළුවන්.

ඔයාට ඕනම ටික තමයි දැන් කියන්න හදන්නෙ.

මම පැහැදිලි කරපු විදියට අර කුතුහලය අධික කාල සීමාවෙන් කෙනෙක්ව මනින්න බෑ. හැබැයි ගොඩක් අය ඉන්නව ඒ කාල සීමාවෙන් ඒ කෙනා ගැන පූර්ණ තක්සේරුවකට ඇවිත් එයා මෙහෙම කෙනෙක් සහ එයාගෙ සුළු අඩු පාඩු කම් පසු කාලීනව හරියයි කියන මානසිකත්වයකින් ඉක්මන් විවාහයකට යන අය. ඉතින් ස්වයං පාලනයකින් ඔයාට සීමා වෙලා ඉන්න හැකියාව එයාට නැත්නම්, ඒ කියන්නෙ මන් කලින් ලිපි වල කිව්ව විදියට දැන් ආදරය කරන ඔයා ගැන තියන අගය අඩු වෙලා හිත වෙනස් වෙන්න හදන කාලය තුළ, මනස එක්ක තර්ක කරමින් තමන් ආදරය කරන කෙනාගෙ Qualities ගැන හිතලා ඒ Attraction Level එක පවත්වාගෙන යන්න බැරි නම්, එයා කොහෙත්ම ඔයා එක්ක විවාහ ජීවිතය තුළත් හරි විදියට ඉන්නෙ නෑ. අවංක වෙන්නෙ නෑ. නිසැකවම, එයා එක එක විදියේ වෙනස්, පීඩාකාරී අනපේක්ෂිත හැසිරීම් පෙන්නුම් කරන්න පටන් ගන්නවා.

මේකෙදි වෙන්නෙ ඔයාට ගැළවෙන්න බැරි විදියට ප්‍රශ්න ගුණනය වෙන එක. මොකද විවාහයෙන් පස්සෙ එයාගෙ පැහැදිලි වෙනස්කම් පේන්න පටන් ගන්නවා. විවාහයකදී ඔයා එයාට සීමා වෙලා, Depend වෙලා කියන මානසිකත්වය ඇති වීමත් සමග ඔයා එයාගෙන් ලොකුවට Caring, Attention බලාපොරොත්තු වෙනවා. ඒක දැන් දැනෙන දෙයක් නෙමෙයි. මේ සමගම යාළු වෙලා ඉඳපු කාල සීමාව තුළ නොදැනුණ වෙනස්කම් වගේම තමන්ට එයාගෙන් සම්පූර්ණ නොවන හිස්තැන් පේන්න, දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ හිස්තැන් දිගු කාලයක් අත්විදින්න සිද්ධ වීමෙන් Depression තත්ව වලට සහ අනෙකුත් මානසික අවපීඩන තත්ව වලට ඇවිත් ජීවිත හානි කර ගන්න තැනට පවා මානසිකව වැටෙන්න පුළුවන්. විවාහයට පෙර, මතුපිටින් පෙනෙන ආකර්ෂණයට සීමා නොවී දිගු කාලයක් ඔයාට දැනෙන්න අවශ්‍ය හැම පැත්තක්ම අඩු නැතුව දෙන්න හැකියාවක් එයාට තියනවද කියන දේ බලන එක වැදගත් වන්නෙ ඒකයි. මේක ඔයා ජීවිත කාලයටම ගන්න වැදගත් තීරණයක්. ඒ නිසා කල් අරගෙන හොඳ සැලස්මකින් ඒ දේ කරන්න අවශ්‍යයි.

පොඩි දෙයක් ඇති විවාහ ජීවිතය නීරස වෙන්න. ඒ වගේම විවාහ වුණාට පස්සෙ වෙන විශ්වාසය බිඳවැටීමක් දිගු කාලීන මානසික පීඩන තත්ව ඇති කරමින් ඒ හා ඇති වෙන සැකය සමග තව අතුරු ප්‍රශ්න ගනනාවකට ම මාර්ග සකසන්න පුළුවන්. ඒ විදියට තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය සතුට නැති වෙනවා, තමන් අතරමන් වුණා, තමන් වරදක් කර ගත්තා යන පසුතැවිල්ල ම දිගු කාලීනව පැවතුනොත්, මානසික ගැටලු පවා ඇති වෙන්න පුළුවන්.

ආදරය කරන කෙනා නැතුව බැරි මානසිකත්වයක් ඔයාට තියනවා නම්, එතනින් කියන්නෙ නෑ, ඔයාට බඳින්න අවශ්‍යම සහ සුදුසුම කෙනා එයා කියල.

ඉතින් විවාහයකට යන්න කලින් ඔයා ළං වෙලා ඉන්න එයාට,

  • ඔයාව හරියට දැනෙනවද බලන්න,

  • ඔයා දුකට පත්වෙන වෙලාවන් හරියට හඳුන ගෙන ඔයාට අවශ්‍ය විදියට හිත හදන්න එයාට පුළුවන්ද බලන්න.

  • ඔයා නොකියන දේ ඔයාගෙ හැසිරීමෙන් එයා තේරුම් ගන්නවද බලන්න, ඒක එයාට ඔයාව දැනෙන විදිය තේරුම් ගන්න හොඳම විදියක්.

  • ඔයාගෙ අධ්‍යාපනය සහ දියුණුව ගැන එයා සැලකිලමත් වෙන ප්‍රමාණය බලන්න.

  • එයාගෙ ජීවිතය තුළ ඔයාට දීල තියන තැන අධ්‍යනය කරන්න.

  • ඔයාගෙ ප්‍රශ්න වලට එයා දෙන දායකත්වය බලන්න.

  • ඔයාගෙ වේදනාවන් එයාට දැනෙන්නෙ කොහොමද බලන්න.

  • ඔයා නිහඬ වන වෙලාවන් සහ ඔයා ඇති නැති සෑම තැනකම ඔයාට දෙන අවධානය බලන්න.

මේ උදාහරණ කිහිපයක් විතරයි.

ඇත්තටම ඔයා වේදනා විඳිනවා නම් ඒක එයාට දැනෙන්න අවශ්‍යයි. එහෙම දැනෙන කෙනෙක් සෘජුව හෝ වක්‍රාකාරයෙන් ඔයාට විඳවන්න වැඩ සලස්වන්නෙ නෑ.

මේ දේවල්, මේ විදියට වෙනවද බලන්න ළං වෙලා වෙලා කෙටි කාලයක් තුළ බෑ. මොකද, මන් මුලින් කිව්ව කුතුහලය අධික කාලය තුළ ඒ කියන්නෙ බැඳීමෙහි මුල් අවදියේ ඕනම කෙනෙක් ඔය විදියටම හැසිරෙන්න පුළුවන්. ඒ කුතුහලය, ආසාව නිසා දැනෙන දේ එක්ක කරන දෙයක් මිසක් එයාගෙ සැබෑ ස්වරූපය නොවෙන්න පුළුවන්. ඒ නිසා නියමාකාරයෙන් ඔහු හෝ ඇය තුළ මේ දේවල් අධ්‍යනය කරන්න ඔයාට සැලකිය යුතු කාලයක් ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා.

මිනිස්සු ඕනම විටක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ ඔය දේවල් ඔය විදියටම තියනවා කියල ඔයා තහවුරු කර ගත්තත්, එහෙම මිනිස්සුත් වෙනස් නොවෙනවා කියන්න බෑ. නමුත්, අවම වශයෙන් මේ දේවල්, මේ විදියට හෝ සිද්ධ කළ යුතුයි. ඔයාට එයාව නැතුව බැරි ගතියක්, දෙමව්පිය බල කිරීමක්, වෙන හේතුවක් තිබුණ පමණින් ඉක්මන් විවාහයකට ගියොත්, අවුරුදු ගනනාවක් සීමා රහිතව විඳවන්න ඒක හේතු වෙන්න පුළුවන්. නැත්නම් දෙවැනි විවාහයක් සඳහා යන්න සිද්ධ වෙන්නත් පුළුවන්.

දැන් දැනෙන අඩුපාඩු පසුවට හැදෙයි කියලා හිතන් විවාහයකට යන්න එපා. මොකද, ආදරය කරන කාල පරාසය සහ විවාහ ජීවිතය කියන්නෙ දෙකක්. ඔයාට Relationship එකේදි තියන දේවල් Marriage Life එකටත් ඒ විදියටම ගළපන්න වෙන්නෙ නෑ.

අපි කාටවත් අත්හදා බැලීම් කරන්න විවාහ වෙන්න බෑ. මොකද දරුවන් ලැබීම සහ විවිධ හේතූන් මත ඔයාව තවත් විවාහ ජීවිතය තුළ හිර වෙන එක තමයි සිද්ධ වෙන්නෙ. ඒ නිසයි හැම අතින්ම ඔයාට හිතට සැහැල්ලුවෙන්, සතුටින් ජීවත් පුළුවන් ගුණාංග තියන කෙනෙක් අවශ්‍ය වෙන්නෙ.

විවාහ ජීවිතයක් සාර්ථක වෙන්න සම්පූර්ණ විය යුතු දේවල් ගොඩක් තියනවා. ඒ කරුණු රැසක එකතුවක් මිස, තනි හේතුවක් නෙමෙයි. හරි අවබෝධයක් නැතුව කෙටි කාලීන තීරණ හෝ සරල තීරණ අරගෙන විඳවන අය අනන්තවත් ඉන්නවා. මෙම ලිපිය ඔයාට ඒ දේ නොවන්න සහ වැරදුණු කෙනෙක්ට ජීවිතය වෙනම් කර ගන්න.

- නන්දිමාල් එදිරිසූරිය

Nandimal Edirisooriya

I am Nandimal Edirisooriya, Sri Lanka's first and only Relationship & Breakup Expert, also known as a Relationship & Breakup Coach. I provide psychological insights to help individuals quickly overcome the pain of relationship challenges.

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.


© 2024 nandimaledirisooriya.com

All Rights Reserved

Website Developed By 360Digital

Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.

© 2024 nandimaledirisooriya.com - All Rights Reserved

Website Developed By 360Digital