අවසන් වුණු නැත්නම් අසාර්ථක වුණු බැඳීමකින් පස්සෙ ඔයාව සාමන්‍ය තත්වයට පත්කිරීමට අවබෝධය බලපාන විදිය ඔයා දැනගන්නම ඕන. ඒකෙන් ඔයා දැන් විඳවන තත්වයකට හෝ අනාගත සිදුවීමක් ඔයාගෙ ජීවිතය සම්පූර්ණ කනපිට හරවන්න කලින් හරි තැනින් වෙනස් වෙන ආරම්භයක් ගන්න පුළුවන්.
සමාන කාලපරිච්ඡේදයක් තුළ දෙන්නෙක් අතර ඇති වෙන ආකර්ෂණ මට්ටටමක් විතරයි මේ ආදර සබඳතාවක ආරම්භය. මෙය විවිධ ආකාරයේ ඇතැම් විට නොකළ යුතු මට්ටමේ, නොගැළපෙන එනම් වැරදි ගොඩක් තියන කෙනෙක් වෙනුවෙන් වුණත් ඇති වෙන්න පුළුවන් බව මම කලින් ලිපි වල කියලා තියනවා. කොහොම වුණත් මේ ආදරය කරන කාලපරිච්ඡේදය තුළ මානසික හා ශාරීරික බැදීමක් මිස “එයා මගේ” ” එයා මට ඕන විදියට ඉන්නවා” කියන දෙයක් ඇත්තටම නෑ. මොකද, ආකර්ෂණයක් සහ බැඳීමක් ඇතිවෙන්නෙ වෙනස් වෙන හිත් එක්ක. ඉතින් මම කලින් ලිපි වල කිව්ව විදියට සිතුවිලි සහ මානසික මට්ටම් සමග තර්ක කරමින් අවබෝධයෙන් එක අරමුණක, එක හැඟීමක ජීවිත කාලයක් පුරා හිත රඳවයි කියල අපිට 100% ක් හැම කෙනෙක්ම විස්වාස කරන්න අපහසුයි. නමුත් එසේ නොවෙනවාම කියන්නත් බෑ. මේ අතර තියෙන්නෙ යම් කිසි අවදානමක්. ආදරයක් ඇති වෙනකොටම ඒ අවදානම හැම කෙනෙක්ම ගන්නෙ ආකර්ෂණයත් සමග ඇති වන පාලනය කරගන්න අපහසු තමන් ආස කරන හැඟීම් සහ වෙනත් සාධක නිසා ඇති කරගන්න විශ්වාසය මතයි. ඒ වගේම ඇබ්බැහි වීමෙන් අන්ධ වුණාම අවධානම් නොපෙනී යනවා. අවබෝධයෙන් තීරණ ගැනීම පසුගාමී වෙලා ඇබ්බැහි වීම නිසා ඇති වෙන අවශ්‍යතාවය පමණක් ඉලක්ක කිරීමේ මානසිකත්වයක් නිර්මාණය වෙනවා.
අඩු තරමේ, විවාහ වෙලා ඉන්නවා වුණත් මානසික, ශාරිරික බැදීම් හා වගකීම් මිස “මගේ කියන දෙයක් නෑ” මොකද වෙනස් වෙන සුළු බව මේ ආදරය කරන මට්ටම තුළ හෝ විවාහ වී සිටින මට්ටම තුළ සත්‍ය වශයෙන්ම පවතිනවා. ඒ නිසා තමයි විවාහයෙන් පසු වුණත් මිනිස්සු වෙන් වෙන්නෙ. ඇතැම් විට දරුවො ඉද්දි පවා දාල යන, මට එපා කියන මට්ටමට, නැත්නම් වෙනත් සබඳතා ඇති කර ගන්න තැනට මිනිස්සු පත් වෙන්නෙ.
නීත්‍යානුකූලව බැඳීමක් ඇති කර ගෙන දරුවන් කියන අධික වගකිම ලැබුනට පස්සෙත් මිනිස්සු වෙනස් වෙනවා නම්, දිවුරලා, පොරොන්දු දීලා, පුදුම ආදරෙන් සලකමින්, ආරක්ෂා කරමින්, ගෙදර ඇවිත් දෙමව්පියන් එක්ක කතා කරලා ආදරය කරන දෙන්නෙක් අතර වෙන් විමක් සිදු නොවී තියෙයිද ? නිවැරදි අවබෝධයෙන් එකිනෙකා තේරුම් ගන්න, තමන්ගෙ ගුණාංග හරි විදියට පවත්වාගෙන යන දෙන්නෙක් හැරෙන්න අනිත් හැම ආදර සබඳතාවක්ම ආකර්ෂණය මත ගොඩ නැගුනු තාවකාලික බැඳීම් පමණයි.
ඒ හැරුනු කොට, කෙනෙක් නොවෙනස්ව ආදරයෙන් ඉන්නවා නම්, ඒ මන් කලින් ලිපි වල කිව්ව සිතුවිලි එක්ක තර්ක කරමින් එක තීරණයක රැඳෙන මට්ටමේ අවස්ථාවන් පමණයි. මෙම අවස්ථාව සතුටින් ජීවිත කාලය පුරා ඉන්න බලාපොරොත්තු වෙන දෙන්නෙක් දෙදෙනා විසින්ම ඇති කර ගත යුතු මානසිකත්වයක්. ඔයා හරි විදියට හිටියත්, අනිත් කෙනාට අවුල් සහගත වෙනස් වෙන මානසිකත්වයක් තියනවා නම්, ඔයාට උරුම වෙන්නෙ ජීවිතයට හා අනාගතයට ඇති වෙන හාණි පමණයි. මොකද, ආකර්ෂණය උපරිම කාල සීමාව තුළ හැසිරෙන විදිය නෙමෙයි කුතුහලය අඩු වුනාම තියෙන්නෙ. එතනදි ඔයාට එතන රැඳෙන්න අවශ්‍ය වුණත් කුතුහලය අඩු වෙන තැන එයා එතනින් පස්සෙ වෙනස් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා එයාගෙ සෑම ක්‍රියාවක්ම ඔයාට මානසික පීඩනය සහ වේදනාව ගෙනත් දෙනවා.
අපි මැරෙන තුරාවට යම් පුද්ගලයෙක් ගැන 100% ක් අවබෝධ කර ගන්නෙ නෑ. අඩුම මවක් දරුවන් ගැනවත් එවැනි අවබෝධයක් ලබන්නෙ නෑ. මෙවැනි වටපිටාවක විවාහ ජීවිතයකට එන්න ඒ අදාල කෙනා ගැන අවම 60% කවත් නිවැරදි අවබෝධයක් අවශ්‍යයි. ඒ කියන්නෙ විවාහයට පෙර ආශ්‍රයක් අත්‍යාවශ්‍යයි. නමුත් වෙනස් වෙන සුළු ස්වභාවයන් සහ අනෙකුත් නොදැකපු චරිත ස්වභාව ඉතුරු 40% තුළ තිබෙන්න පුළුවන්. ඔයා හිතනවා නම්, මම එයා ගැන හැමදේම දන්නවා කියලා, යම් තත්ව සහ සිද්ධීන් ගැන දන්නවා වුණත් එයාගෙ මනස ගැන ඔයා දන්නෙ යම් ප්‍රතිශතයක් විතරයි. ඉතින් යම් අවධානමක් පැවතුනත් ඒ කෙනා ගැන තියන දීර්ඝ කාලීන උනන්දුව, කැපවීම, විස්වාසවන්තභාවය මත තීරණ ගැනීමට සිද්ධ වෙලා තියනවා. බැඳීමක් ඇති කර ගන්න, මේ ලෝකය තුළ ජීවත් වෙන සියලු දෙනාට ම මේ දේ පොදුයි.
අපි දැනගන්න අත්‍යාවශ්‍යම දෙයක් තමයි මේ Breakup එකකට පස්සෙ දැනෙන වේදනාව මොලය තුළ ඇතිවන රසායනික ක්‍රියාවලියක් හා සම්බන්ධ බව. සියලු ක්‍රියාවලීන් අපේ සිතුවිලි වෙනස් කරනවා වගේම ආදරය, ආසාව, හැඟීම් යන කරනු මත අපිට යම් කෙනෙක්ව අවශ්‍ය වෙනවා. ඉහත කිව්ව මොලයේ රසායනික වෙනස් වීමක්, නිශ්පාදනයක් අපිට අවශ්‍ය, ආකර්ෂණය වෙන කෙනෙක් නිසා සිද්ධ වෙන්න පුළුවන්, මෙය දිගු කාලීන ආදරයක් වෙනකොට අර කලින් කිව්ව ක්‍රියාවලිය සාමාන්‍ය ක්‍රියාවලියක් බවට පත් වෙනවා. මේ දේ දිගු කාලීනව සිද්ධ වෙන්න පටන් ගන්නවා සහ මම මුලදිම කිව්ව දින පතා සිදුවන ක්‍රියාවලීන් මෙම සිතුවිලි සමග ඉදිරියට යන්න හුරු වෙලා තමයි තියෙන්නෙ. ඒ හින්දම තමයි ඒ කෙනා අපෙන් ඈත් වෙනකොට අපි හැමදාම ආසවෙන් කරපු හැමදේම අඩපන වෙන්න පටන් ගන්නෙ.
ඇතැම් විට නින්ද හා ආහාර යන අත්‍යාවශ්‍ය කාරනා පවා සිදු නොවෙන්නෙත් මේ නිසාමයි. මොකද, හැම ක්‍රියාවලියකටම මොලය එනම අපගේ මනස බලපානවා. හිතක් නැතුව මේ කිසිම දෙයක් සිද්ධ කරන්න බෑ. ඉතින් ඒ හිතම තමයි මේ ආදරය කියන අභ්‍යන්තර ක්‍රියාවලිය යම් කෙනෙක් නිසා ඇති කර වන්නෙ. ඒ ක්‍රියාවලිය දිගු කාලයක් සිද්ධ වුණාම අතර මග ඒ කෙනා නැවතුන ගමන් අපේ හිතට අපහසුයි ඊළඟ දවස වෙද්දි ඒ දේ නැතුව සියල්ල සාර්ථකව සිද්ධ කරන්න. ඒ අසමතුලිතතාවය තමයි කෙනෙක්ට වේදනාවක් විදියට දැනෙන්නෙ. නින්ද හා ආහාර අනවශ්‍යතාවය ඇති කරන්නෙ සහ ඒ ඇතුළුව සියලූම කටයුතු අඩාල වෙලා අධිකව පීඩා විදින්නෙත් මෙම ක්‍රියාවලිය නිසාමයි. ඒ වගේම, නැවත ඒ කෙනා තමන් ළඟ ඉන්න බව දැනගත්තොත් අර සියල්ල නැවත යථා තත්වයට (Back to Normal) පත් වෙනවා.
ඔයා මේ අවස්ථාව තුළ Breakup එකක් නිසා අධිකව පීඩා විඳිනවා නම්, මතක තියා ගන්න ඔයා මොන තරම් වේදනාවෙන් හිටියත් ඔයාට සුවපත් (Recover) වෙන්න විදි දෙකක් තියනවා,
- ඒ කෙනාව නැවත ලබා ගැනීම සහ පෙර කී සියල්ල යථා තත්වයට පත් කිරීම. (Addiction)
- ඒ අදාල කෙනාගෙ සම්පූර්ණ හැගීම්, බැදීම් වලට හුරු වුණු හිත නිදහස් කරලා, එයා නැතුව මේ බැඳීමට කලින් ඔයා ජීවත් වුණු විදියට හිත පත් කිරීම. (Permanent)
බලන්න, මේ පළවෙනි එක සිද්ධ වෙන්නෙ වෙනස් වෙන හිතක් එක්ක. ඒ කෙනා නැවත නැවත වෙනස් වෙන්නෙ කොතනද, ඔයා මානසිකව නැවත වැටෙනවා සහ මෙම ක්‍රියාවලියට හුරු වීම (Addict) සිද්ධ වෙනවා.
දෙවැනි ක්‍රියාවලියට අවශ්‍ය වන්නෙ ඔයා විතරයි. මෙතන තීරණ ගන්නෙ ඔයා. වෙන කෙනෙක්ගෙ වෙනස් වීමක් අදාලම නෑ. මේ තත්වයට ආවොත් ඔයාට ඔයාගෙ අනාගතය නැවත පෙනෙයි, ඔයා කවුද කියන එක නැවත පෙනෙයි, පවුලෙ අයට ආදරය කරයි. ඔයාට අතපසු වුණු සියල්ල නැවත පටන් ගන්න, වෙනස් වෙන්න, අලුත් වෙන්න, දියුණු වෙන්න සහ ඉතාම සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.
හිතන්න, ඔයා නොගැළපෙන බැඳීමක ඉන්නවා කියලා දන්නවා නම්, ඔයා සතුටින් ඉන්න කාලයට වඩා පීඩා විදින කාලය වැඩි නම්, මේ සිදුවීම් ඔයාගෙ ජීවිතය දවසින් දවස ආපස්සට අදින බව දන්නවා නම්, නමුත් ආදරය, අධික ආශාව එනම් ඇබ්බැහි වීම නිසා ඉන්න සිද්ධ වෙලා නම්, ඔයා වැඩ කරන්න ඕන නිසැකවම පෙර කී 2 වෙනි කරුණ ඉටුකර ගැනීම සඳහාමයි. මේ වගේ මානසිකත්වයක් 100% ක් සුව කරන්න හැකියාව තියෙද්දිත් ඉන් ඔබ්බට හිතන්නෙ නැතුව, නොගැළපීම තුළම හිර වෙමින් ඇතැම් විට නැවත නිවැරදි කළ නොහැකි වැරදි පවා ජීවිතයට සිද්ධ කර ගන්නවා නම්, කොච්චර අපරාදයක්ද ?
පිහියකට අත කැපුනොත් දවසින් තුවාලය හොඳ වෙන්නෙ නෑ. ඒකට යම් කාලයක් ගත වෙනවා. අවසානයේ සම්පුර්ණ සුව වීම සිද්ධ වෙනවා. නැවත නැවත පිහිය පාවිච්චි කරන තාක් කල් නැවතත් අත කැපීමේ සම්භාවිතාවක් තියනවා. ඒ වගේම, හිතත් යම් කෙනෙක් නිසා විඳවනවා නම්, යම් කාලයක් තුළ සුවපත් වෙනවා. ඒකට ඉවසීම, අවබෝධය, උනන්දුව, හරි සැලැස්මක් තුළ ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනවා. නමුත්, නැවත නැවත එයාව තමන් ළඟට ගන්න උත්සාහ කරන හැම මොහොතකම, අර පිහිය ගැන කිව්ව කතන්දරය වගේම නැවත ඔයා විඳවන තැනට පත්වීමේ ලොකු ප්‍රතිශතයක් තියනවා.
නන්දිමාල් එදිරිසූරිය

Nandimal Edirisooriya
I am Nandimal Edirisooriya, Sri Lanka's first and only Relationship & Breakup Expert, also known as a Relationship & Breakup Coach. I provide psychological insights to help individuals quickly overcome the pain of relationship challenges.
Nandimal Edirisooriya is the first ever and the only Relationship & Breakup Expert in Sri Lanka. In simple terms, he is a Relationship & Breakup Coach who serves locally and internationally.
© 2024 nandimaledirisooriya.com
All Rights Reserved
Website Developed By 360Digital
© 2024 nandimaledirisooriya.com - All Rights Reserved
Website Developed By 360Digital